අම්මා

බිහිකල දිනේ සිට ඔබ මා මේ ලොවට
නිම් නැති මව් සෙනේ උතුරා ගිය ලෙසට
ඒ මව් සෙනෙහසින් ඔබ මා පිදු ලෙසට
අම්මේ අදත් ඔබේ සෙනෙහස ලොකුය මට

ඇකයේ තබා ඔබ මා ලෙඩ වූ කලට
දෙනෙතින් ඔබේ වැගිරුණු කඳුලැල් එමට
මා දැන් මහළු විය අබියස සිටියාට
අදටත් ඔබ හඞයි මා ලෙඩ වූ කලට

අපමණ දුක් ගැහැට විඳ මා හැදුවාට
මිනිසත් බව ලබන උල්පත වූවාට
නිමකර සසර ඔබ මතු බුදුවන දාට
ඉන්නම් වැඳ වැටී අම්මේ හැමදාම

නිමකර සසර ඔබ මතු බුදුවන දාට
ඉන්නම් වැඳ වැටී අම්මේ හැමදාම //

සකිසඳ නුඹමය

සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතුසේ ලබනු බැරී
බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද
සසර පුරා බිඳ දමනු බැරී //

නුඹෙ රුව නිමිතෙක රසඳුන් වේමය
දුටු තැන ඇසිපිය හෙලනු බැරී
කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
රහසේ සඟවා තබනු බැරී

සකිසඳ නුඹමය...

අමයුරු තෙපුලද සුමියුරු ගීයක
නොඅසා මොහොතක් හිඳිනු බැරී
නිර්දක කතරේ දිය දෝතයි නුඹ
කෙලෙසින් වත් මිල කරනු බැරී

සකිසඳ නුඹමය...

දේවතාවියේ වැටුණෙද

දේවතාවියේ වැටුණෙද කඳුළු නුඹ නෙතේ
රැඳුණ මගෙ සිතේ දැනුණිය රිදුම නුඹ සිතේ
කියනු බැරි නුඹේ විමනද දුරය මට දැනේ
දකිනු රුව කෙසේ සිහිනය දිගුය අද දිනේ //

මැකුණු සිතුවමක් ඇඳ තෙලි තුඩින් යළි යළිත්
නෙතට රිදුවමින් බැලු බැලු අතක දිස් වෙමින්
නැවුණු සුබ හැඟුම් ඉතිරුණු තුහින තුන් යමින්
වඩියි නුඹ සිතට හිනැහී දෙව්දුවක් ලෙසින් ... දෙව්දුවක් ලෙසින්

දේවතාවියේ වැටුණෙද...

සඳ කැලුම් පෙරී ඇවිදින් කවුළු මත රැඳී
අඳුර මැද සිතේ තෙරපෙයි මුනිවතෙහි රැඳී
දකිනු බැරි නෙතට සැඟවූ සිරි විමන් වැඩී
සැලුව කඳුළු මුතු පොළොවේ මගෙ අතේ රැඳී ... මගෙ අතේ රැඳී

දේවතාවියේ වැටුණෙද...

සුවදෙන නැලැවිලි

සුවදෙන නැලැවිලි ගී රස පිරි අමයුරු වී
අසා හිඳී නිසොල්මනේ මව් කුසයේ බිලිඳා //

මුනිඳු දෙවිඳු පිලිරූ ඇස රසඳුන් අයුරූ //
බලා හිඳී සෙවනැල්ලේ මව් කුසයේ බිලිඳා

දෙගුරුන් සිහි දේවී සාමය රැකදේවී
නිවී හිඳී සැනසිල්ලේ මව් කුසයේ බිලිඳා //

නෑසියො ගෙට ඒවී රස මසවුළු දේවී //
ඇසුරෙහිදී සිත ලොල්වේ මවු කුසයේ බිලිඳා

සුවදෙන නැලැවිලි...

සැම දන තුඩ

සැම දන තුඩ තුඩ රැව්දෙන
සාමය සමගිය රජ වුණ
නිදහස් මල් නෙලනා දින
කවදා ඒවිද සුමිතුර //

සාමයෙ ගීතය හඞින් ගයාගෙන
රජ වෙමු සාමය පිරි දේශය තුල ///

උනුන් ඇණකොටා වැනසෙන
විලාපයෙන් හද සිරවුණ
ලෝහිත ගංගා වැලපෙන
රටේ සිහිනයයි සාමය //

සාමයෙ ගීතය... ///

සිරිත විරිත එක ලෙසින් බෙදාගෙන
එක හිරු සඳු ගෙන් පිහිට පතාගෙන //

සාමයෙ ගීතය... ///

මේ අඩ සඳම

මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුලඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ //

මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා //
මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා
නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා
මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා

මේ අඩ සඳම ...

රියසක ලෙස පෙර පින පව අප පසුපස ආවේනම් //
මේ විරසකයක් වෙලා මොටද පෙර පෙම් කෙරුවානම්
රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම්
හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මං

මේ අඩ සඳම ... //

පවින් මා මුදා ගත්

පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී
ලඳුනි කරුණා ගුණය ප්‍රේමය නොවන බව වැටහේ
පවින් මා මුදාගත් පින නුඹට අත්වේ

අසාර වූ මා ජීවිතේ දළු දමා නැගි ආදරේ
නියෙන් සිඳලන්නෙමි නොයෙන්නෙම යන්නෙමි
ඔබට සුබ පතමි

පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී

නෙතක නිලුපුල් ආදරේ මල් පවන් වැද හිම වටේ
ඉකිබිඳින මහ වනස්පතිඳුන්
නිම නොවන ආදරෙන් ඔබට සුබ පතමී

පවින් මා මුදා ගත්...

එපා යළි හමුවන්න

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයායන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

එපා යළි හමුවන්න ...

වසන්තය ඇවිදින්

වසන්තය ඇවිදින් මටත් හොරැහින්
සිත් මල් පිපිලා හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්

ගිලාන වූ හද සෝ ලතැවුල් පිස
ඔබේම ඇසුරින් සුවපත් වූදා
නොනිමි සෙනෙහසෙන් සිත උතුරා යයි
ජීවිතයේ නව පැතුම් සොයා

වසන්තය ඇවිදින් ...

අඳුරට හුරු මුදු මගේ දැවුණු සිත
ඔබේ වදනකිනි සැනසුම ලැබුවේ
වියැකී යන්නට ඉඩක් නොදී යලි
සුරකිමි ඔබ මා හද රඳවා

වසන්තය ඇවිදින් ...

වන මැද තනිවූ

වන මැද තනිවූ රජ දහනේ
පියබඳ සෙනෙහස සුව දැහැනේ
කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
සැඟවුනි නිසලව ගිරි මුදුණේ

කෝ අද ඒ කිංකිණි රාවේ
නටබුන් නිසසල සීගිරියේ //

මැකී ගියා සැඟවී ගියා කාලයෙ වැලි තලයේ
කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු යලි නැඟේ

දෑතම පාමින් වැව් දියඹේ
ඔහු සතු සම්පත පෙන්වන්නේ
ඔබ ලද ජය කොහිදෝ රජුනේ
වන මැද තනිවූ ගිරි මුදුනේ
ඔබ සැනසුම කොහිදෝ රැඳුනේ
ලඳුනගෙ මුදු බඳ සුව යහනේ //

සැලෙයි ගොයම් රන් කරල් බරින් අනුරාපුරවරයේ
කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු ගුණ ගැයේ

වන මැද තනිවූ ...

සංගීතය: නිමල් මෙන්ඩිස්