සිතට සෙත් මේ යැයි

සිතට සෙත් මේ යැයි යසසින් සිත් පිනවන්නට
එකම මඟම ආලය මැයි සිතෙනා
තුරුණු වියේ වුන් සියලු දෙනා
එමඟ ගොසින් වැරදී දිවි පෙත
යසස නම් සිහිනෙකැයි සිතනා

යසස් සොයා ගිය මං දිවි අඟුලක දුරදී
සිරවී ඇත්තේ යදමක මැයි 
සිතෙනා, සිතෙනා
යදමින් බැඳී ඒ තුරුණු වියේ සිත් 
මායා ලෝකෙක සිරවී
නිදොස් විය නොහැක්කේ මැයි
සිතනා, සිතනා

සිතට සෙත් මේ යැයි ...

සසර ගමනට සවිය වඩවනා
සසර ගමනට දුරත් සපයනා //

ගායනය: සංඛ එදිරිසිංහ, සුනිල් එදිරිසිංහ
සංගීතය: දර්ශන වික්‍රමතුංග
පද රචනය: රිටිගල සුමේධ

නෙතු අගම


නෙතු අගම නොවැ කඳුළු රැඳුනේ
බිම වැටෙන්නට ලතැවුලෙන්
සිත් කොනක නොවැ නුඹ සිටින්නේ
වෙන්ව ගිය මුත් මා වෙතින් //

වියලි කතරට මඳ පවන මය
සිසිල දුන්නේ මුදු ලෙසින් //
තැවුණු දිවියට නුඹේ සුසුම් මය
පහස දුන්නේ සෙනෙහසින් //

නෙතු අගම නොවැ කඳුළු රැඳුනේ

වහින වැස්සට හිමි ගමන මය
ගලා යන්නේ ගඟ ලෙසින් //
සෙනෙහ සිතකට හුරු රිදුම් මය
නෙතු තෙමන්නේ සීතලෙන්

නෙතු අගම...

සංගීතය: අනුරාධ අබයසිංහ
පද රචනය: සුරංක ඉරෝෂන්

දුර ගමන් යයි

දුර ගමන් යයි, තනිව හැසිරෙයි
ඇසට නොපෙනෙන්නේ
එවන් සිතමයි කෙලෙස් ගිණිගන්නේ
උතුම් සදහම් ඥානයෙන්
සිත නිවා ගන්නේ
දුකින් ගැලවෙන්නේ

හද ලෙනේ සැඟවී හිඳින්නේ
සිතන දේ කිසිවෙකු නොදන්නේ //
යනෙන තැන රහසේය යන්නේ
නොමැත දිස්වන්නේ
නොමැත හෙලි වන්නේ
 
දුර ගමන් යයි ...

හිතුමතේ දසතේ සරන්නේ
රස පහස සොයමින් ඇදෙන්නේ //
නොදැමිවූ සිත රැක නොගන්නේ
දුක වැළඳ ගන්නේ
මරුට බිලිවන්නේ

දුර ගමන් යයි ...

සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය: කුලරත්න ආරියවංස

දුරින් ඉඳන්

දුරින් ඉඳන් බලා හිඳිමි නුඹ රූ සිරි රෑ අහසේ
වළාකුලක් මගෙන් මිදී ඈතට යනවා
හෙමින් හෙමින් අනන්තයට පාවී යනවා

සීතල හිම කඳු අතරේ හැපී ගැටී තුරු සිරසේ
යළි එන තුරු නිදි නැති නෙත බලා ඉන්නවා
මටත් හොරා ඔබ හෙමිහිට සැඟවී යනවා

දුරින් ඉඳන් ...

රන් තරු මුතු වැල් නිදනා ගණඳුරු රෑ නිසොල්මනේ
වියළි ලවන් දිය බිඳුවක් පතා ඉන්නවා
මම තාමත් හීනෙන් සඳ සිහිල සොයනවා

දුරින් ඉඳන් ...

සංගීතය: දර්ශන වික්‍රමතුංග
පද රචනය: ආචාර්ය දුමින්ද හඳපාන්ගොඩ

වියපත් වී


වියපත් වී... වියපත් වී නැත ආදරයේ සඳ
වියපත් දිවි ගඟ මුව දොර අබියස
මගෙ මැණිකේ මං ලඟින්ම ඉඳගෙන
පාර කියනවා හෙට ජීවිතයට

දොරගුලු බිඳගෙන අඳුර ගලන සඳ
සුළඟට නොනිවී දිළෙන පහන් සිල
විස කටු ඇනිලා තැවෙන දැවෙන හිත
මොහොතින් සුවකළ රහස නුඹේ වත

දිවි ගිම්හානේ සරතැස එළවන
වසන්තයේ මද සිහිල් සුළං පොද
සෙවනැල්ලක් සේ මා ළඟ නැවතුන
නුඹේ සෙනෙහෙ මහමෙරට වැඩී මට

වියපත් වී නැත...

සංගීතය: අරුණ ගුණවර්ධන
පද රචනය: සුගත් සෝමවීර

අවාරේ

අවාරේ මහ අනෝරාවක තෙමී
සමනොළ කන්ද නැගලා
මගේ හිස සිරි පතුලේ ගාවා
නැවතුනේ නෑ අම්මා
ලපටි ඉර මල නෙලා ගන්නට
අහස දෝතට ලංකලා

මහා ගංගා හුස්ම ගන්නා
නොසිඳෙනා දිය කඳුර සොයලා
සෙනෙහෙ ලේ කිරි එයින් තවරා
නැවතුනේ නෑ අම්මා
සිඟිති දිය උල්පතක් පෙන්නා
මුහුදටම යන පාර කිව්වා

කඳුලකට කහ දියද ඉහලා
ලදැල්ලක පිණි පබළු මතුරා
නෙලුමකින් මා ලයේ ගලවා
නැවතුනේ නෑ අම්මා
ලඟින් දළදා සමිඳු තියලා
පිරිත් කියනවා තාම අම්මා

සංගීතය: අරුණ ගුණවර්ධන 
පද රචනය: සුජීව හෙට්ටිතන්ත්‍රී