ළමා කලය අකුරට හුරු
යන්නට එය නිකම් නොහරු
සොඳට පිහිට වෙති ගුරුවරු
වන්නට බල උන්හට ගුරු
පෙර කල ඔබ වැනි දරුවෝ
ඉගෙන අකුරු මරු මැරුවෝ
අලසව එ අකුරු වැරුවෝ
නම ගම සමඟින් දිරුවෝ
උදයෙ ම නින්දෙන් නැගෙන්නැ
පිරිසිදු වී තැනෙක ඉන්නැ
අකුරට බුහුමන් කරන්නැ
නුවණ වඩින දොර හරින්නැ
නිවැරැදි හඬ නගා කියව
හොඳ හැඩයට අකුරු ලියව
ගී ද මිහිරි නදින් ගයව
ගිය ගිය තැන සැප සපයව
ඉතින් ඇතැ යි පසු නො බසිනු
නැවත නැවත පුරුදු කරනු
බුරුලක් වෑයමට නො දෙනු
බැරි ම තැනක් අසා උගනු
ගුරු දෙ ගුරුන් ඈ සැම දෙන
ලවා දැන් ම හොඳ යැ කියන
බස කියවා නොගත හොතින
විපත පෙනේ මතුවට මතුවට එන
ලොවට උපන්නේ පුත ඔබ
යම් කිසිවක් පිණිස යැ සුබ
එ සිදු කරන්නට ඉඩ ලැබ
ගත හැකි අකුරිනි සිත තබ
අකුරට දැන් වන්න දාස
අකුරු පසු වැ වේ යැ දාස
(සිදු වෙයි ඔබ හැම අදාස
පැමිණෙයි සැප දාස දාස)///
පද රචනය: කුමාරතුංග මුනිදාස
No comments:
Post a Comment