මලක් සේ හිනැහිලා


මලක් සේ හිනැහිලා දුව වැඩෙන හැටි බලා
බයත් හිතෙනව මැණිකේ ගණ අඳුර බෝවෙලා
ගොදුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා
දෙනෙත් සේ රැක ගනිමු පුතුට මඟ පෙන්නලා

පිපෙන මුත් රුව දරා සුවඳ නැති මල් පවා
නොවටිනා බව කියමු දුවගෙ හිත සනසලා
නැණ ගුණෙන් සවි වඩා සඳ දියෙන් හද තෙමා
ජීවිතය කියා දෙමු පුතුගෙ හිත නොරිදවා

මලක් සේ...

රට දැයම හඳුනනා නව පැතුම් පණ පොවා
අපේ රුව ගුණ කියමු කලා වැව පෙන්නලා
රට දැයම හඳුනනා සොඳුරු මිනිසෙකු වෙලා
ලොව දිනන හැටි කියමු පිරුණු මිනිසෙකු වෙලා

මලක් සේ...

ගායනය: සුනිල් එදිරිසිංහ සමඟ  ප්‍රදීපා ධර්මදාස
පද රචනය: පමිත ආර්. ලියනගේ
සංගීතය: රෝහණ වීරසිංහ

රන් මිණි


රන් මිණි සරුව පිත්තල අබරණ ඇඟට
දැම්මම නුඹ පෙනෙයි රජකුමරියක ලෙස
නුඹ රැඟුවත් නලඟන සේ
මා දුටුවත් සුරඟන සේ
වෙන්නේ කොහොම රැජිණක් නුඹ
ඇන්දට රජ කුමාරියට //

වැටූ දිගැස් සර ඇස් බැන්දුම් සේනා
රටේ පතල අත් පොලසන් හඬ බෝමා
දිනූ ඔටුනු බර ගරු සරු අභිමානා
එපා මෙමට දෙනු හිමිටම පෙම් පානා //

රන් මිණි...

මනා උකුල ලැම හස දෙනු දරුවන්ටා
පතා ගෙනා හිමි අත මතු නාරින්ටා
සිනා මට දුන්නු ආපහු ගෙනයන්ටා
කිසිදා බැරිය මට නම් වැදි රජු වෙන්ටා //

ගඟ තවම


ගඟ තවම ගලයි
ගං දෑල නිසසලව බලා හිඳී
ඔබ ගඟක් වගෙයි
සිත් දෑලවරින් ඈතටම ඇදෙයි

මහ වැස්ස වැටී ගඟ දිය කැලඹෙයි
ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි
ගඟ ඔහොම තමයි එක තැන නොරැඳෙයි
ඔය හදේ රැඳුනු ආදරය වගෙයි

කඳු යාය නිලෙන් නිල් අහස වසයි
ගං දියෙන් වැසී හිත තවම බරයි
කඳු පෙල නිසලයි කිසිදා නොසැලෙයි
මා ඔබට පිදූ ආදරය වගෙයි

ගඟ තවම ...

ඉරට උඩින්


ඉරට උඩින් සිංදු කියන මාල ගිරව් රෑන
මිඳුල පුරා හිනැහෙනවා කිරි සුදු හඳපාන
ඇස් දෙක පියවෙන ගානේ පෙනෙයි මිහිරි හීන
මේ ඔක්කොම නුඹ හින්දයි මට සෙනෙහස පාන

පාන්දරින් මලිති බටිති සිංදු ඇහෙන කොට
නාන මංකඩේ කෙකටිය කැකුලු පිපෙන කොට
හීන්සීරුවේ ගොම්මන් අඳුර වැටෙන කොට
වාන් දමන හිතේ සතුට කියන්න බෑ මට

වංකගිරියෙ රටා පැදුර පිලේ එලාගෙන
වැවට උඩින් පායන හඳ දිහා බලාගෙන
හීන් හඬින් රහස් කියන දෑස් පියාගෙන
එන්න දවස එනතුරු මං ඉන්නෙ බලාගෙන

ඉරට උඩින්...

රන් මැලි

රන් මැලි සෑය විය දිවි අඹරට නැගුන
සුදොවුන් පියා විය සක්විති මග තනන
සමනල පව්ව විය දුක සැප සම දරන
විය මහ රජුනි අප ගෙපැලේ රජ කරන

අසනි වැසි රුදුරු වග වලසුන් අතරේ
සිව්මහ දෙවිදු වී නිති ‍රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ

බුදදස් නිරිදු සේ අත් බෙහෙතක් හදලා
පැල ඉනිවැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැල වට සිව් කොණ තබලා
ලොව්තුරු සුව විඳියි අප රජ වනු දැකලා ///

නන්දිකඩාල්

නන්දිකඩාල් කලපු දිගේ සඳ දියවෙනවා බලන්න
චුණ්ඩිකුලම් ඉර මඬලෙන් ඉර පායනවා බලන්න
සයිවර් කඩයක ඉඳගෙන දෙමළ සින්දුවක් අහන්න
අපි ආසයි ඔබත් එක්ක ජීවිතයම බෙදා ගන්න //

ඉරණමඩුවෙ වැව වාගේ සෙනෙහස උතුරලා යන්න
අරියාලේ තුඩුව ලඟින් පරණ පාර අළුත් වෙන්න
සංගිනියන් නාඩගමේ රුදංග ගී නද අහන්න
අයියකච්චියේ ළිංවල පිරිසිදු පැන් පොදක් බොන්න

ගිනිගත් තල් කරටිවලට වැහිදිය අහුරක් එවන්න
නව දළුලන මනුස්සකම අතු ඉති ලා පැතිර යන්න
නල්ලූර් කෝවිලේ ශුද්ධ මුරුගණ් දෙවියනි අහන්න
එක්ව නගන සීනු හඬින් කරුණා ගඟුලක් මවන්න

නන්දිකඩාල්...

ළමා කලට

ළමා කලය අකුරට හුරු
යන්නට එය නිකම් නොහරු
සොඳට පිහිට වෙති ගුරුවරු
වන්නට බල උන්හට ගුරු

පෙර කල ඔබ වැනි දරුවෝ
ඉගෙන අකුරු මරු මැරුවෝ
අලසව එ අකුරු වැරුවෝ
නම ගම සමඟින් දිරුවෝ

උදයෙ ම නින්දෙන් නැගෙන්නැ
පිරිසිදු වී තැනෙක ඉන්නැ
අකුරට බුහුමන් කරන්නැ
නුවණ වඩින දොර හරින්නැ

නිවැරැදි හඬ නගා කියව
හොඳ හැඩයට අකුරු ලියව
ගී ද මිහිරි නදින් ගයව
ගිය ගිය තැන සැප සපයව

ඉතින් ඇතැ යි පසු නො බසිනු
නැවත නැවත පුරුදු කරනු
බුරුලක් වෑයමට නො දෙනු
බැරි ම තැනක් අසා උගනු

ගුරු දෙ ගුරුන් ඈ සැම ‍ දෙන
ලවා දැන් ම හොඳ යැ කියන
බස කියවා නොගත හොතින
විපත පෙනේ මතුවට මතුවට එන

ලොවට උපන්නේ පුත ඔබ
යම් කිසිවක් පිණිස යැ සුබ
එ සිදු කරන්නට ඉඩ ලැබ
ගත හැකි අකුරිනි සිත තබ

අකුරට දැන් වන්න දාස
අකුරු පසු වැ වේ යැ දාස
(සිදු වෙයි ඔබ හැම අදාස
පැමිණෙයි සැප දාස දාස)///

පද රචනය: කුමාරතුංග මුනිදාස

දමා ගිය

දමා ගිය මඟ සොයා ආ ඔබ
කොහේදෝ සිට ලංවෙමින් පෙලූ හදවත
සුසුම් අතරේ හිඳී සුපුරුදු සිනාවෙන්
බිඳී විසිරුණු සිහිනයේ

ගඟක් වී ගැලුවා එදා ඔබ 
නිසරු සිත් බිම් සරු කලා
කිරි වැදී ආ සුවඳ ඇල් කෙත
ඔබම සැහැසිව අළු කලා
ගිනි මලක් වී සැඟවිලා

දමා ගිය... 

සඳක් වී සැඟවී ගියා සේ
පහන් පින් බිම හැර දමා
පෙම් පුරාණය සිඳ දමා ඔබ
කින්නරාවත නිම කලා
තුන් සිතින් පියමං වෙලා

දමා ගිය...  


මල් වැහි පොද

මල් වැහි පොදට ආරාධනා
ඉවරයි අසනි හෙණ ගර්ජනා
නිල් දෙරණ මල් යහනක් කරන්නට
මල් වලට ආරාධනා

ගිනි අවි නිවී ලතැවුල් සිඳී ගිය ගම් දොරේ
කුණු කසල සේදී ගිහින් උතුරන ගංදියේ
(නව සිතින් සිතුවිල්ලක් සිතා
නව අතින් නව නිමැවුම් මවා) //
අළුත් මහ පොළොවකට මේ ආරාධනා

රහසේම පිපිලා පරවෙලා යන ජීවිතේ
හැකිනම් පුදන්නට ඉත සිතින් පූජාසනේ
(එක වී ඇට වී කරලක් වෙලා
හෙට රන්වනින් වගුරයි සිනා) //
ඒ මහා පිංකමට මේ ආරාධනා

ආරාධනා....ආරාධනා
අළුත් මහ පොළොවකට මේ ආරාධනා
ආරාධනා....ආරාධනා
ඒ මහා පිංකමට මේ ආරාධනා
ආරාධනා....ආරාධනා
ඒ මහා පිංකමට මේ ආරාධනා