අනේ යාල් දේවී

අනේ යාල් දේවී
නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස පලඳනාවේ තිබුනා ලියලා කන්කසන්තුරේ කියලා
අනේ යාල් දේවී

පොර කුකුලන් රඟනා දෙමංසලේ
අපි ආගිය මඟතොට වල් වැදිලා
කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ
මුතු පවුර ගිලී මුහුදටම ගිහින්

අනේ යාල් දේවී...

කොට්ට කෙලෙංගුයි තල් හකුරුයි
හරි මාත්තුවට ගෙන රස බලනා
නුඹෙ සංගුව වදිනා තුරු ඉන්නේ
අපි හැබෑවටම නෑගම් එනකම්

අනේ යාල් දේවී... //

සතර දිගින් එන

සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුළුවන්න
අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න //

ඒ සුලඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න
ප්‍රඥාවේ මිණි පහනින් එළිය ලබා රැඳී ඉන්න
දේදුන්නේ පාට වලින් පියවි දෑස් අන්ධ නොවන
මුළු සඵල ගී නාදය ඔබ සවනට රැගෙන එන්න

වද වාගිනි නැගෙන තැනක සිහිලැල් පෙම් දිය ඉසින්න
දණින් වැටෙන මිනිසත් බව ඔසවා සිහසුන තබන්න

සතර දිගින් එන... //

සෙනෙහසේ මල්

සෙනෙහසේ මල් පිපේවා //
ලයේ උපදින ලතෙත් හැඟුමින්
ගයා සුවඳම පතුරනා
ගිලන් වූ සිත් නිවා සනසන
පහන් හැඟුමන් උපදනා
සෙනෙහසේ මල් පිපේවා //

වෛරයෙන් ඉරි තැලෙන සිත් තුල
කෙලෙස මිනිසත් බව පිරෙන්නේ
සෙනෙහසේ සුවඳින් නිවී
ගිලන් වූ සිත් සුව ලබන්නේ
එවන් සත් සිත් පහන් කරවන //
සෙනෙහසේ මල් පිපේවා

ඉසුරු සම්පත් ලබත් එනමුත්
එයින් මනු සිත් නැහැ නිවෙන්නේ
ගිලන් වූ සිත් සුවෙන් පිබිදී
සෙනෙහසින් මල් පණ ලබන්නේ
එවන් සත් සිත් පහන් කරවන //
සෙනෙහසේ මල් පිපේවා //

සූවිසි වරමින්

සූවිසි වරමින් දෙවි රැකවරණින්
අරුණ උදාවේවා
සම්බුදු සුවඳින් මිහිමඞල වැසී
නිවී පහන් වේවා //

දිනේවා මව්බිම ශ්‍රී ලංකා

ලෝ සතුන් නිතින අතිනතින් වෙලී
හදවතින් බැඳී ඒවා
දෙව් බඹුන් ලෙසින අගහිඟෙන් මිදී
නෙක ඉසුරු උදාවේවා

සූවිසි වරමින්...

සත් ගුණෙන් පෙඟීමෙන් හැඟුම් පිරී
නව ලොවක් උදා වේවා
උපනුපන් භවේ හදවතින් බැඳී
හෙල බිමේ ජනිත වේවා

සූවිසි වරමින්... //

තිදස පුරේ

තිදස පුරේ පියගැට පාමුල
ශෛල තලාවක සඳ ලේඛාවක
කල්ප විනාසය දිවැසින් දුටුවෝ
සන් කල කැටයම සඳකඩපහණයි

නුවණ තියුණු කල තිසර ලතාවයි
තුරඟා ජවය සමානයි
සවිබලයෙන් ගිජිඳා අසමානයි
සහයෝගය ගව රෑනයි
පිවිතුර පියුමයි බැඳුණ ලියවැලයි
පිරිපුන් කැටයම සඳකඩපහණයි

නිදා තිසර ගජ තුරඟුන් සේනා
මරු කතරේ කුර ගානා
සිඟාල සූකර වවුලිඳු සේනා
නිරුදක පෙලහර පානා
කෙලෙසුන් පිරුමයි බිඳුණු ලියවැලයි
නටබුන් කැටයම සඳකඩපහණයි

විඩා ගෙන දෙන

විඩා ගෙන දෙන මගේ හදවත //
දවන පාළුව තනිකමයි //

දුරින් සිටි අය ලඟින් සිටි අය
දුරස් වන විට දැනෙන තනිකම
ටිකින් ටික මා සිත දවයි
තනිකමෙන් මා සිත දැවෙයි

විඩා ගෙන දෙන...

ලඟින් ලඟ හිඳ හදින් හද ගෙන
දුරස් වන විට දැනෙන තනිකම
විටින් විට මා හද දවයි
තනිකමෙන් මා සිත දැවෙයි

විඩා ගෙන දෙන...

විල් තෙරේ පියුමක්

විල් තෙරේ පියුමක් ලෙසේ
පිබිදී රැඳී හද මන්දිරේ
යෞවනේ පිරිපුන් සෙනේ
තුන් හිත පුරා නින්නාද වේ

නෙත් පුරා කඳුලක් තබා
දුර පාවෙලා ගොස් ජීවිතේ
සිත් බිඳී සුවපත් නොවී
මිහිදන් වෙලා ලය ආදරේ

වසන්තය නෙතු ලඟ ලැගුම් ගෙන
සුබ දසුන් මවනා නිමේෂෙක //
මුව දොවා නව ලොවක අරුණැල්ලෙන්
සිතනු මොහොතක් මගේ සිතිවිල්ලෙන්

නෙත් පුරා කඳුලක්...

අතීතය හිත ලඟ රැඳී හිඳ
ඉකි ලමින් හඞනා විරාමෙක //
සිනාවක් සේ පිපෙන්නට බැරිවී
සදා මිලිනව හිඳින්නෙමි තනිවී

විල් තෙරේ පියුමක්...

පැන් කොතලයෙන්

පැන් කොතලයෙන් බෝ දුමිඳු නාවා
තුන් මලුවෙ හැම ගහ වැලම දෝවා
සක්මන් බවුන් වඩමින් බණ පිරිත් කියමින්
අපෙ මුතුන් මිත්තන් කලා මහ පිංකම්

මලමූ නොලා ගං විල් දොලේ
බිලි නොබා මාළුන් වැව් ජලේ //
ඉර හඳ වනස්පති බුහුමනින්
කල යුතුකමයි තම සනුහරේ

හොඳ නරක දැන නැණ ගුණයෙනා
හිරි ඔතප් සිව්බඹ විහරිණා //
රැක ගෙනා පරපුර උරුමෙනා
නිසි මඟ ඇතත් වල්මත් වෙනා

පැන් කොතලයෙන්...

අම්මා

බිහිකල දිනේ සිට ඔබ මා මේ ලොවට
නිම් නැති මව් සෙනේ උතුරා ගිය ලෙසට
ඒ මව් සෙනෙහසින් ඔබ මා පිදු ලෙසට
අම්මේ අදත් ඔබේ සෙනෙහස ලොකුය මට

ඇකයේ තබා ඔබ මා ලෙඩ වූ කලට
දෙනෙතින් ඔබේ වැගිරුණු කඳුලැල් එමට
මා දැන් මහළු විය අබියස සිටියාට
අදටත් ඔබ හඞයි මා ලෙඩ වූ කලට

අපමණ දුක් ගැහැට විඳ මා හැදුවාට
මිනිසත් බව ලබන උල්පත වූවාට
නිමකර සසර ඔබ මතු බුදුවන දාට
ඉන්නම් වැඳ වැටී අම්මේ හැමදාම

නිමකර සසර ඔබ මතු බුදුවන දාට
ඉන්නම් වැඳ වැටී අම්මේ හැමදාම //