රන් සමනලයෝ


රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා //
මීදුම් සළුවේ, තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා

පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා //

ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවේදෝ

රන් සමනලයෝ...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සරත් ද අල්විස්

නුඹේ සිතට


නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ

අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුණා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු රෑන වගේ
ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ

නුඹේ සිතට...

නළල් තලට මුතු තැලි පට කිමද දඟේ
අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ලැතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
සැනසිල්ලට දුරු රටකට යමුද නගේ

නුඹේ සිතට...

පද රචනය: සුනිල් ආර්. ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ

අළුත් වැස්සක්


අළුත් වැස්සක් වහින්නට සැරසේ
පුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ
අළුත් වැස්සක් වහින්නට සැරසේ

අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියං කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපත් ලඟමයි
දිය දහම ඒ විලසයි

අළුත් වැස්සක් වහින්නට සැරසේ

වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපත් ලඟමයි
දිය දහම ඒ විලසයි

අළුත් වැස්සක්...

පද රචනය: සුනිල් ආර්. ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ

රෑ වැඩ මුරය


රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

රෑ වැඩ මුරය ...

නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ


පද රචනය: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ

චන්ද්‍ර මණ්ඩලේ


චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර මණ්ඩලේ...

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ...

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ

පුරන් අප්පු කවි


බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ
ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත, කන්දේ යුද ගිනි දැල් නැගුණා

සප්පායන් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන් සිංහල පොළොවේ කැති ගහලා
කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස් බෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුණා

මල් වට්ටියක්


මල් වට්ටියක් වෙන්දේසියක්
පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ
ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්
මල් වට්ටියක්... //

පිනට දහමට නුහුරු අතහිත
දුකට පිහිටට නොහිටි නෙත සිත
තරඟයට වැද උනුන් සිත් පරදා
මහන්තත්වය රකීවී

මල් වට්ටියක්...

තරඟ ඇති මුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා
තරඟයද කෙළවරක් වේ

මල් වට්ටියක්...

පද රචනය: සුනිල් ආර්. ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ

අහස පොළව


අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක්...

කණක මිණක තරුවක රුව
නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා

අහස පොළව...

විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා

අහස පොළව...

පද රචනය: යමුනා මාලිනි පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ

වළි කුකුල්ලු ඇවිදින්


වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං //

වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම්
කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අවුරනු මැණිකේ අත අහවර නම්

වළි කුකුල්ලු ඇවිදින්... //

වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්


වළි කුකුල්ලු ඇවිදින්... //

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ

අද දීගෙක


අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

අද දීගෙක...

පද රචනය: ධර්මසිරි ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ

මහ වැස්සක්


මහ වැස්සක් බිමට හලා
නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ

මහ වැස්සක්...

විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ

මහ වැස්සක්...

පද රචනය: සුනිල් දයානන්ද කෝණාර
සංගීතය: සුනිල් දයානන්ද කෝණාර

අවපස අහසක


අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ..ඉම ඔබ රැඳුණේ //

මාවත අවහිර නිමවා
දළ රළ පෙල සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා

අවපස අහසක...

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා

අවපස අහසක... //

පද රචනය: කුලරත්න ආරියවංස
සංගීතය: රෝහණ වීරසිංහ

මේ තරම් සියුමැලිද..(කලාකරුවාණෙනි)


මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා //

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා //

මේ තරම්...


පාරු පාලමෙන්


පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා

කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා
කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා

මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා
නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා
ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා
ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා

පාරු පාලමෙන්...

පද රචනය: අශෝක කෝවිලගේ
සංගීතය: රෝහණ වීරසිංහ

වෙරළු ගෙඩිය


වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන

පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

වෙරළු ගෙඩිය...

තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
බිම් පංගුවට ලොල් වී මළගම් නොයති

වෙරළු ගෙඩිය...

පද රචනය: වසන්ත කුමාර කොබවක
සංගීතය: වික්ටර් රත්නායක

රුදුරු තුරු වදුලේ


රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ //

මහදේ රන්සුමු ගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
දෑස වැසෙන තුරා //

රුදුරු තුරු වදුලේ...

මිහිරී රූසිරී
මිහිරී ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී, මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ

රුදුරු තුරු වදුලේ...

පද රචනය: කාලෝ ෆොන්සේකා
සංගීතය: රෝහණ වීරසිංහ

ලෙන්චිනා මගෙ


ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ //

පෙත්තරේ ලඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කලා දැන්
ගෙදර යං කළුවර වුණා

ලෙන්චිනා මගෙ... //

පින්වතුන් කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා

ලෙන්චිනා මගෙ...//

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ

සඳකඩ පහණක


සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලැතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැල වෙද්දී //

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදූ
ගව්වක් ඉහලට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුණු වැහි බිංදූ
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ //

සඳකඩ පහණක...

හද විල ඉපැදුණු කැකුලක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුලක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක් ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා... //

සිටී බලා....

පද රචනය: වොලී නානායක්කාර
සංගීතය: වික්ටර් රත්නායක

කුඩා ගමේ


කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සොබා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි

පද රචනය: ධර්මසිරි ගමගේ
සංගීතය: වික්ටර් රත්නායත

මිනිසා සුවඳයි


මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්

මිනිසා සුවඳයි....

උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනි දැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිනා
සුසුමෙන් යදියන් හෙලනා

මිනිසා සුවඳයි...

පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ

හිඳීවි කොතැනක හෝ...


හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී //
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී

හිඳීවි කොතැනක හෝ...

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ //
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ලඟාවී
නුඹ විඳි අඳුර නිවාවී

හිඳීවි කොතැනක හෝ...

පද රචනය: කුලරත්න ආරියවංස
සංගීතය: රෝහණ වීරසිංහ

මා ඉතින්...


මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

නුඹ සඳක් වෙලා පායා
මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි

මා ඉතින්...

සඳ එළිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින්...

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ

දෙවැනි බුදුන් ලෙස


දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා.....අම්මා.....

දෙසවන් සනහා මා නැලවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත
අම්මා....අම්මා.....

ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත
අම්මා....අම්මා.....

දෙවැනි බුදුන් ලෙස...


සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: සුනිල් ආරියරත්න

සදාකාලික නොවූ ලෝකේ


සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා //
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

සදාකාලික නොවූ ලෝකේ ...

එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ //
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ

සදාකාලික නොවූ ලෝකේ...

සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: ආනන්ද අමරසිරි

ඇසුවේද කවුරුන් හෝ


ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක් //

සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා //
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා

ඇසුවේද කවුරුන් හෝ …

පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන් //
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්

ඇසුවේද කවුරුන් හෝ … //


සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී

මගෙ අමල් බිසෝ


මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්

මගෙ අමල් බිසෝ…

ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්

මගෙ අමල් බිසෝ… //

සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ

සයුරක් නොදුටු


සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //

කඳුලක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු …

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු …

නිදුකාණනේ


නිදුකාණනේ… නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ //

සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට //

යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

නෙතින් නෙතක ගැටෙනා රාග සිත
ලෙවන් නෙතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
දයා දියෙන් සනහා නිවන්නට //

කාලයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේ

සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී

පැන මඩ කඩිති


පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩ කඩිති වැව් තාවලු ...

සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: මහින්ද චන්ද්‍රසේකර

කවුරුන්ද ඔබ මගේ


කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ////

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු //
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

කවුරුන්ද ඔබ මගේ…

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ //

සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: සමන් අතාවුදහෙට්ටි

නිම් තෙරක් නොදුටු


නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ

සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ //
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී මාරුතයේ

නිම් තෙරක් නොදුටු මේ..

සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්

හදේ කොතැනක


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැනින් //

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද, තනිවෙනා මොහොතින්

හදේ කොතැනක...

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්

හදේ කොතැනක…

සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී